ඒක ප්‍රශ්නයක්‌ නෙමෙයි හේෂාන් ගමගේ අලුත් වැඩක් පටං අරගෙන

0

සංගීතමය රියැලිටි වැඩ සටහන්වල විනිසුරු මඩුල්ල නියෝජනය කරමින් වැඩි වශයෙන් දකින්න ලැබෙන ඔහු ප්‍රවීණ දක්‌ෂ සංගීතවේදියෙකි‌. නමින් හේෂාන් ගමගේවන ඔහු මාධ්‍ය වෙත සිය අලුත් තොරතුරු කියලා තිබුණා. ඒ මෙන්න මේ විදිහට….

මොකක්‌ද හේෂාන් මේ ගුරුකුල ප්‍රශ්නේ?
ඒක ප්‍රශ්නයක්‌ නෙමෙයි. අලුත් වැඩක්‌. ක්‌ෂේත්‍රයට අපේ දරුවන්ට යහපතක්‌ වෙන දෙයක්‌.

මොකක්‌ද මේ කරන්නේ?
සංගීතය ඉගෙන ගන්න කැමැති ඒ ගැන ආසාවක්‌ තිබෙන අයට සංගීතයේ උපරිම දුරක් ‌ගමන් කරන්න ඔවුන්ගේ අභිප්‍රායන් ගුණාත්මකව සාක්‌ෂාත් කර ගැනීමට අවස්‌ථාව හදලා දෙන සංගීත ගුරුකුලයක්‌ මේ ‘ගුරුකුල සංගීත ආශ්‍රමය’. මෙහි දී සංගීතය ප්‍රගුණ කරන්න සංගීත ගුරුකුලයෙහි නවාතැන් ගෙන පූර්ණ කාලීනව හැදෑරීම් සහ අභ්‍යාස කළ යුතුයි.

කොහෙද මේ සංගීත ගුරුකුලය පිහිටලා තියෙන්නේ?
කඩුවෙල කොතලාවල කුඹුරක්‌, පොඩි දිය කඩිත්තක්‌ ඉදිරිපිට ස්‌වභාව සෞන්දර්යට ඉඩ දීලා අපි මේ ආශ්‍රමය පිහිටුවලා තියෙන්නේ. මොකද දරුවන්ට හොඳට පුහුණුවීම් කරන්න පුළුවන් නිදහස් ‌පරිසරයක් ‌අවශ්‍ය නිසා.

ගුරුකුල සංස්‌කෘතිය කොහෙන් ද මේ එන්නේ?
ගුරුකුල අපේ රටෙත් තිබුණා, නමුත් සංගීතයට නොවෙයි. සංගීතය ගත්තම අදටත් ඉන්දියාවේ ගුරුකුල පවතිනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවා වුණත් මමත් ගුරුකුල අධ්‍යාපනය ලැබූ කෙනෙක්‌. ඒ ක්‍රමය තමයි මේ පිහිටුවන්න හදන්නේ.

මොකක්‌ද ඔබේ ගුරුකුලය?
කිරානා කියන සංගීත ශෛලියට අයත් ගුරුකුලයට තමයි මා අයත් වුණේ. මෙය ලංකාවේ පිහිටුවන්න මට මගේ බිරිඳ ආචාර්ය අංජලී මිශ්‍රාත් සහාය වෙනවා.

ගුරුකුල පිහිටුවීම සංගීතයට, ක්‌ෂේත්‍රයට කරන හානියක් ‌නේද?
කිසිසේත්ම නෑ. මේ ඔස්‌සේ දරුවන්ට හොඳින් දැනුම අභ්‍යාස ලබා ගත හැකියි. ක්‌ෂේත්‍රයට වෙන්න ඕන ලොකු මෙහෙවරක්‌ තමයි දරුවන්ට ඉන්ස්‌ටිටියුට්‌ තියෙන එක. අපේ රටේත් මියුසික්‌ ස්‌කූල්ස්‌ පිහිටුවන්න ඕන.

රියැලිටි වැඩසටහන්වල ඔබ දක්‌ෂයි කියා බිහි කළ තරු අද දකින්නට නැහැ. ඇයි මේ?
ඇත්තටම මට මේ මෑතක හිතුණා මේ දක්‌ෂයි කියූ දරුවන් දක්‌ෂ වෙන්නේ කොච්චර කාලයකට ද කියලා. ළමයි දක්‌ෂයි තමයි. නමුත් මින් ඉදිරියට දරුවන්ගේ හැමදාම දකින්න වෙන්නේ එකම දක්‌ෂතාවක්‌ නං මගේ කටින් මින් පසු කියවෙන එකක්‌නෑ එහෙම. අදියරෙන් අදියරට ඔවුන් දක්‌ෂතාව ප්‍රගුණ කළ යුතුමයි. එහෙම නොවුණොත් සාමාන්‍ය දක්‌ෂතාව පමණක්‌ වේවි. එය මවිතයක් ‌නං වෙන්නේ නෑ. ඊළඟ කාරණය හැමදේටම වග කිව යුත්තේ තමන් මිසක්‌ වෙන කෙනෙක්‌ නෙමෙයි. මේකෙන් මං පෙත් විවර කරලා දෙනවා පමණයි. ආකල්ප, ඥානය පුළුල් කර ගැනීම, නිහතමානිකම, කරුණාව, නිර්මාණකරණය මේ හැමදේම ඔස්‌සේ තම පැවැත්ම තමන් සකසා ගතයුතුයි.

තවමත් ඔබේ ජනප්‍රිය නිර්මාණ නැහැනේ?
මා තුළ තිබ්බේ සංගීතය පිළිබඳ උගතුන් බිහි කිරීමේ කැමැත්ත. ජනප්‍රිය නිර්මාණකරණය ඔස්‌සේ නෙමෙයි මගේ හිත වැඩ කළේ. මගේ ආශාව තමයි මම මේ ඉටු කරමින් ඉන්නේ. ගුරුවරයෙක් ‌විදිහට ගෝලයෙක්‌ නිවැරදිව ලස්‌සනට ගයන කොට ඔවුන්ගේ දෙමාපියන්ගෙන් පසු මං තරම් සතුටුවෙන කෙනෙක්‌ නැතුව ඇති. කොහොම නමුත් තව ටික දවසකින් මගේ නිර්මාණ කිහිපයක් ‌එළි දක්‌වන්නත් පුංචි බලාපොරොත්තුවක්‌ තියෙනවා.

හේෂාන් ගමගේ දැන් නළුවෙක් ‌නේද?
මගේ අම්මා ශිරාණි ගමගේ සහ තාත්තා හෙක්‌ටර් කුමාරසිරි ඩ්‍රාමා ෆීල්ඩ් එකට සම්බන්ධ දෙන්නෙක්‌. ගෙදර තිබුණේ රංගනයට පසු බිමක්‌. හැබැයි තාත්තා මට ඒකට අවස්‌ථාවක් ‌දුන්නේ නැහැ. ඒත් මං මෙච්චර වයසට ගියාට පස්‌සේ තාත්තා මට කිව්වා එයාගේ ‘අනෝරා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්න කියලා. මටත් ඒක ඒ වෙලාවේ පුදුම හිතුනා. මං තාත්තා කියූ දේ කළා. මේ දිනවල ඒ චිත්‍රපටයේ සංස්‌කරණ කටයුතු සිද්ධ වෙනවා. නර්තන ගුරුවරයකුගේ චරිතයක්‌. නමුත් හුඟක් ‌වෙනස්‌ තේමාවක්‌. ඉතිං මේ මගේ පළමු චිත්‍රපට රංගනය වගේම මගේ පළමු චිත්‍රපට සංගීත අධ්‍යක්‍ෂණයත් ‘අනෝරා’.

Facebook Comments