රටින් පිටුවහල් කරන කලබල ඇති කළේ රෝහින්ග්‍යා සරණාගත දැරියක් දූෂණය කළ අය බේරන්නද?

    0

    මිරිහාන රැඳවුම් භාරයේ සිටියදී පොලිස් නිලධාරියෙකු විසින් 21 හැවිරිදි රෝහින්ග්‍යා සරණාගත දැරියව ඉකුත් ජුනි මස 19 වැනිදා දූෂණය කර පසුව කළුබෝවිල රෝහල ඉදිරිපිට ගේට්ටුව අසළ දමා ගොස් ඇති ආරංචියක් පැතිරෙනවා.ගල්කිස්ස ප‍්‍රදේශයේදී මියන්මාර රෝහින්ග්‍යා සරණාගතයින්ට විරෝධය පළ කරමින් ඉකුත් 26 වැනිදා කලහකාරී ලෙස හැසිරුණු සිද්ධිය පිටුපස මෙම කණ්ඩායමේ සිටි සරණාගත දැරියක් දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් වසන් කිරීමේ උත්සහයක් ඇති බවටද වාර්තා වනවා.

    දැරිය දූෂණය කිරීම සඳහා පිටතට ගැනීමට අදාළ පොලිස් නිලධාරියාට කඳවුරේ පිරිසිදුකරන්නියක ලෙස කටයුතු කළ කාන්තාවක් සහ තවත් කාන්තාවක් උදව් දී තිබෙනවා.මෙම ස්ත්‍රී දූෂණය යට ගැසීමේ අරමුණින් රෝහින්ග්‍යා සරණාගතයින් රටින් පිටුවහල් කිරීම මුල් කරගනිමින් ඉකුත්දා ගල්කිස්සේ පැවැති සිද්ධිය ඇති කරන්නට කටයුතු යොදා තිබූ බවටයි මේ වන විට තොරතුරු හෙළිව ඇත්තේ. ඒ අනුව මියන්මාර් තරුණිය දුෂණය කිරීමේ නඩුවේ ප්‍ර‍ධාන සාක්ෂිකරුවන් ලංකාවෙන් එලවා දැමීම ඔවුන්ගේ අරමුණු වී ඇති බවටද මේ පිළිබඳ මත පළ කරන පිරිස් පෙන්වා දෙනවා.

    මියන්මාර් තරුණිය දුෂණය කළ බවට චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරියාගේ පවුලේ සාමාජිකයින් හා ඔහුගේ මිතුරන් මෙම අයුතු ජනරාශියට සම්බන්ධ සිදුවීම නිර්මාණය කොට ඇති බවටයි කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍යේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පෙන්වා දෙන්නේ.මිරිහාන කඳවුරේ දී මියන්මාර් තරුණිය දුෂණයට ලක් කළ බවට නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් වී ඇති බී වාර්තාවේ නම සදහන් වන්නේ ඩී.පී.ජී.ගුණසේකර වාස් (14841) නැමැති පොලිස් කොස්තාපල්වරයෙකු පිළිබඳවයි.

    ඔහු අපරාධය සිදු කරන විට පාදුක්ක පොලීසියට අනියුක්තව සේවය කර තිබෙනවා. අධිකරණය විසින් පැවැත්වූහඳුනාගැනීමේ පෙරට්ටුවේ දී මෙම පුද්ගලයා සාක්ෂිකරුවන් විසින් හඳුනාගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට අගෝස්තු 10 වැනිදා දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබුණා. ඒ අනුව ඊළඟ නඩු වාරය ඔක්තෝබර් 26 වැනිදාට දින නියම කර තිබෙනවා.එම කාලය අතරතුරදීයි මෙම ගල්කිස්සේ ඇති වූ සිද්ධිය වාර්තා වන්නේ.මේ කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍යේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සිය ෆේස්බුක් ගිණුමේ පළකල අදහසයි.

    Facebook Comments