ක්‍රිකට්වලට ජනපතිත් මැදිහත් වෙයි

0

ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ හට ගෙන ඇති අර්බුදය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.ජනාධිපතිවරයා කියා සිටියේ හැකි ඉක්මනින් මේ පිළිබඳ සාකච්ඡා කරන බවයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවකදීයි.

එහිදී නව විගණන පනත් කෙටුම්පත ප‍්‍රමාද වීම සම්බන්ධයෙන් ද මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදහස් පළ කළා. ඒ සම්බන්ධයෙන් තමා කණගාටු වන බවත් කඩිනමින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එහි දී ප‍්‍රකාශ කළා. සයිටම් ගැටළුව සම්බන්ධයෙන් රජයේ අවසන් ස්ථාවරය ඉකුත් සඳුදා දිනයේ දී ප‍්‍රකාශයට පත් කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූයේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (29) කළ ප‍්‍රකාශයට ද මෙහි දී ප‍්‍රතිචාර දැක්වූවා.

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ තමන් එවැන්නක් ප‍්‍රකාශ නොකල බවයි. ගැටළුව පිළිබඳ ප‍්‍රකාශයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව පැවසුවත් ඊට ස්ථීර විසඳුමක් ලබා දෙන බව ප‍්‍රකාශ නොකලේ යැයි ජනාධිපතිවරයා මෙහි දී කියා සිටියා.ඊයේ කළ ප‍්‍රකාශය පිළිබඳ තමා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයාගෙන් විමසා සිටි බවයි ජනාධිපතිවරයා පැවසුවේ. වැරද්ද කර ඇත්තේ මාධ්‍ය  විසින් බව එහි දී ඔහු ප‍්‍රකාශ කළේ යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙහි දී කියා සිටියා.

එහෙත් මාධ්‍ය විසින් ඊයේ ප‍්‍රචාරය කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවක් කැඳවා කළ ප‍්‍රකාශයයි.

 

Facebook Comments