අද පොසොන් පුර පසලොස්වක පොහොය දිනයයි.

0

ගෞතම බුදු සසුන සිරිලක රාජ්‍යානුග්‍රහයෙන් මුල්බැස ස්ථාපිතවීමට මග පෑදු අනුබුදු අරහත් මිහිඳු මාහිමියන් ලක් දෙරණට වැඩමවීම සහ සිරිලක මහ රජු වූ දෙවනපෑතිස් නිරිඳුන් මිස්සක පවුවේදී හමුව සිදුවී රජු තෙරුවන් සරණ යාම සිදුවූ අසිරිමත් දිනයයි.

ශ්‍රී සම්බුද්ධ පරනිර්වානයෙන් වසර 236 කට පසු දඹදිව රජකළ ධර්මාශෝක නිරිඳුන් රටවල් ආක්‍රමණය කරමින් දික් විජය කළා. කාලිංග දේශය සමග කල බිහිසුණු යුධ ජයග්‍රහණයේදී සිදුවූ මහත් විනාශය දුටු අධිරජ මහත් කම්පාවට පත් වුනා. ශෝකයේ වේදනාවෙන් සඳලු තලයේ සිට මග දෙස බලා සිටි අධිරජුගේ සිත කසා වර්ණයෙන් බබළමින් ශාන්ත ගමනින් වැඩම කරන සත් වියැති පුංචි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ රුව දැකීමෙන් ප්‍රීති ප්‍රමෝධයට පත් වුනා. අධිරජු වහා නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ සිය මාලිගාවට වැඩම කරවා සුදුසු තැනක් බලා අසුන් ගන්නා ලෙස ඇරයුම් කළා. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ ව්‍යක්ත, විනීත, විශාරද , බහුශ්‍රැත, ධර්මධර, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත සුගතියට මග සකස්කරගත් උත්තමයන් වහන්සේ නමක්. අසුන් ගැනීමට සුදුසු තැනක් බැලූ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ කිසිදු බිය තැති ගැනීමකින් තොරව මුළු දඹදිවම ප්‍රතාපවත් අශෝක මහා අධිරජුගේ සිංහාසනයේම අසුන් ගත්තා. රජතුමන් බොහොම නිහතමානිව බිමින් අසුන් ගත්තා. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගෙන් දහම් ඇසු රජු තෙරුවනේ පිහිටවා මෙත් සිත් ඇති ධර්මාශෝක අධිරජු බවට පත්වුවා.

පසුව නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ ගුරු හිමියන් වහන්සේ වූ මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ හමුවූ අධිරජු තවදුරටත් ධර්මය තුළ ස්ථාපිත වුනා. උන්වහන්සේගේ උපදෙස් මත දඹදිව පුරා වෙහෙර විහාර අසු හාරදහසක් ඉදිකිරීමට කටයුතු කළා. අධිරජුගේ පුතනුවන් සහ දියණිය බුදු සසුනේ පැවදිව උතුම් අරහත් ඵලයට පත් වුනා. ඒ අරහත් මිහිදු මාහිමියන් සහ අරහත් සංඝමිත්තා තෙරණින් වහන්සේයි.

ඒසමයේ බුදු සසුනට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා බොහෝ පිරිස් බුදු සසුනේ පැවිදි වුණා. සත් වසරකින් පොහොය කිරීමේ විනය කර්ම සිදුවී තිබුණේ නෑ. විනය විරෝධී භික්‍ෂූන් වහ්නසේලා සසුන තුල එන්න එන්නම වැඩිවුනා. එනිසා බුද්ධ ශාසනයේ ශීඝ්‍ර පරිහානියක් ඇතිවීම ඇරඹුනා. මේ ගැන ධර්මාශෝක අධිරජු මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ හමුවී සාකච්චා කර තෙවන ධර්ම සංගායනාව පැවැත්වීමට කටයුතු කළා. එය පැවැත්වුනේ මගධයේ අගනුවර වූ පැළලුප්නුවර (පාඨලීපුත්‍ර) අශෝකාරමයේදී. මේ සඳහා රහතන් වහන්සේලා දහස් නමක් සහභාගි වුනා.

තෙවන ධර්ම සංගායනාවෙන් සිදුවූ උදාරතම කාර්ය නම් සිරිලක ඇතුළු රටවල් නවයකට ධර්ම ප්‍රචාරය සිදු කිරීමයි. ඒ අනුව ධර්මාශෝක අධිරජුගේ පුත්‍ර වූ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ සමග ඉට්ඨිය, උත්තිය, සම්භල, භද්දසාල, සුමණ සාමණෙර, භණ්ඩුක උපාසක යන සිවුවනක් පිරිස දඹදිව වේදිසා පුරයේ සිට සිරිලක අනුරපුර මිස්සක පවුව්වට වැඩම කිරීම සිදුවුනේ. මිස්සක පවුවේදී අරහත් මිහිදු හිමියන් හමුවේ බුදුන් සරණ ගිය දේවානම්පියතිස්ස රජතුමා මිහිදු හිමියන්ගේ උපදෙස් මත සිරිලක තුල ශක්තිමත් ලෙස බුදු සසුන ස්ථාපිත කිරීමට කටයුතු කළා. එසේම ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වන භණ්ඩුක උපාසක මහණ උපසම්පදාව සිදු වුයේද අද වන් පොසොන් පුන් පොහෝ දිනයකදීය.

සම්බුද්ධත්වයෙන් සිව්වන සතියේදී රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීම සිදුවූයේද අද වන් පොසොන් පුන් පොහෝ දිනයකදීය.

සියලු සත්වයෝ නිදුක් වේවා. නීරෝගී වේවා. සුවපත් වේවා. අමා මහ නිවනින් සැනසෙත්වා.

Facebook Comments